Helan Kumari

Helan Kumari

හෙලන් කුමාරි

62.84% · 1,492 votes
Rate this artist

Summary

NameHelan Kumari
Sinhala Nameහෙලන් කුමාරි

Biography

සිංහල සිනමාවේ ගිනිසිළුව

ඒ කාලෙ මගේ ඇඟට කවුරුවත් අත තිබ්බේ නෑ

හෙලන් කුමාරි

මා පාවී යයි. මේ වෙලාවට සිහි වන්නේ ඔමාර් ඛයියාම්. ලතා වල්පොලගේ හඬ ශාලාව පුරා පැතිර යද්දී තිරයේ රඟන්නිය ඇය. ප්‍රේක්ෂකයන් එම සරාගී රංගනය දෙස දෑස්දල්වාගෙන බලා සිටියා. ඇය හෙලන් කුමාරි.

ඈ ගැන දැනගන්න මම ගියා කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයට. එහි ‘ඊ 1’ තට්ටු නිවාසයේ එක් දැකුම්කළු නිවහනක හුදෙකලාවේ ඈ පෙර මං බලා හිටියා මං එනතුරු. කතාබහ ඇරැඹුණේ එතැනින්.

අපේ ගෙවල් තිබුණේ මට්ටක්කුලිය ජින්තුපිටියේ. අයියයි, අක්කයි, නංගිය මායි අපි ඔක්කොම හතර දෙනයි. තාත්තා වැඩ කළේ වරායේ. අම්මා අපි හතර දෙනා බලාගෙන ගෙදට්ට වෙලා හිටියා. එතකොට මගෙ නම අරුල් මේරි එස්තර් ප්‍රනාන්දු.

ළගන්නා සුළු කතා විලාශයකින් ඇය දිග කතාබහකට මුල පිරුවා. මම ඒ දිහා බලාගෙන හිටියා. තවමත් ඒ වගේමයි.

මගේ මහත්තයටත් මාව අමතක කර ගන්න බැරි වුණැයි කියන්නේ මේ ඇස් නිසාලු . . . එයා කියනවා මං කතා කරන්නේ කටින් විතරක් නෙවෙයිලු . . .

එතකොට එයා වැඩ කලේ ජැෆර්ජි බ්‍රදර්ස් එකේ. ක්ලාක් කෙනෙක්. පත්තරවලට එහෙමත් ලිව්ව. එස්. පී. මෝගන්ගේ ‘කදම්බම්’ කියන ඒ කාලේ තිබ්බ සඟරාවට මගේ ඉන්ටර්වීව් එකක් කරන්න ආවා. එදා ඇවිත් ආටිකල් එක බාගෙට කළේ.

ඇගේ ආදර කතාව මගින් නවතා දෙතොල් පොපියා සිනාසුණා. මට මකක් වුණේ ජෝ දේව් ආනන්ද්ගේ සුජීවා චිත්‍රපටයේ කිස් නම් හාදුව . . . සිංදුව. රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දු, චන්ද්‍රකලා සමඟින් ඈ එච්. ආර්. ජෝතිපාලයන්ගේ මියුරු හඬට ජීවය දුන් අයරු මට මැවී පෙනෙන්නට වුණා.

ඇයි දැන් රඟපාන්නේ නැත්තේ. මට ඇහුණේ ඉබේටම. ඒ තරමට ඇය සුන්දරයි.

කොහේ හරි ගියාමත් හැමෝම අහන්නේ ඕක.

මං කසාද බැන්දේ අසූ පහේ. ඊට පස්සේ රඟපෑවෙම නෑ.

ඇය කිව්වේ ඒ ශෝකී හඬින්.

මට හරිම දුකයි. මගේ ජීවිතේම වුණේ කලාව. ඒ කාලේ මට රැයක් දවාලක් කියලා එකක් තිබුණේ නෑ.

මං රඟපාන්නෙ නෑ කියලා තීරණය කළාට පස්සෙත් හරියට ආරාධනා ආවා. සෝනියාගේ හස්බන්ඩ් කරු දිසානායක ගෙදට්ටම ඇවිත් හරියට කරදර කළා.

සෝනියා මගේ හොඳම මිතුරියක්. හොඳ චරිතෙකට කතා කළේ. ඒත් මං බෑම කිව්වා. පොරොන්දුවක් වුණාම ඒක කඩ කරන එක පව්නෙ . . . මං නිළියක් විදිහට ඉන්න කාලේ මට තිබුණේ ප්‍රසිද්්ධිය විතරයි. බැන්දට පස්සේ මට මේ හැම දේම ලැබුණේ.

මේ ගෙවල්, වාහන, රත්තරං බඩු මේ ඔක්කොම මට දුන්නේ මගේ මහත්තයා. එහෙම කරපු කෙනාගේ හිත රිද්දන්න මට බෑ. එහෙම කළොත් මට පව්. අනිත් එක මාව බඳිනවට එයාගේ ගෙදරින් කැමති වුණේ නෑ. නංගි විතරයි මඟුල් ගෙදර ආවෙත්.

හිතට එකඟවද ඔය කතා කරන්නේ?

දුකයි . . . ඇත්තටම දුකයි. මේ ළඟකදිත් ගාමිණියි, මාලිනියි ඉන්න සුදු පාට මීදුම් ගලාලා . . . සිංදුව ටී. වී. එකේ යනවා දැක්ක.

ඒවා දකින කොට ඉන්න බෑ. හිත කොහේදෝ මන්දා තැනක ගිහින් නතර වෙනවා වගේ. සමහර වෙලාවට ඇස්වලට කඳුළු පිරෙනවා.

මං නැටුම් අධ්‍යක්ෂණය කරලා තියෙනවා හරියටම චිත්‍රපට තිස් හයකට.

ඒ තිස් හයෙන් තිහක් විතර මං තනියම කරපු ඒවා. අනෙක් හය මට බටහිර නැටුම් පුහුණු කරපු රෝලන්ඩ් ඒ. ප්‍රනාන්දුයි මායි කරපු ඒවා.

ඒ කාලේ ඔබ ළඟින්ම ඇසුරු කළේ?

නීටා ප්‍රනාන්දු. අනිත් හැමෝමත් හිතවත්. මේ ළඟකදිත් මාලිනී මාව දැකලා ළඟටම ඇවිත් කතා කළා. ඒ කලේ කොයි කවුරුත් හොඳයි. මං ටැමිල් කියලා මට වෙනසක් කළේ් නෑ. හැමෝම හොඳයි.

ඒ කාලේ රඟපෑ චිත්‍රපට අතරින් ඔබ කැමැතිම චිත්‍රපටය?

සුනේත්‍රා චිත්‍රපටයේ ජෝතිපාල ගායනා කරන හද සන්තානේ . . .ඇති සන්තෝසේ . . . සිංදුව. අන්න ඒ සිංදුවට මමයි, ටෝනියි කරපු නැටුමට මං හරි කැමැතියි.

ඒ කලේ හිටපු ජනප්‍රියම සමාජ ශාලා නළඟන ඔබ . . .?

මට හිතෙන විදිහට ඒක තමයි ඇත්ත. මං වෙනුවෙන්ම චිත්‍රපට බලන්න හුරු වෙච්ච ප්‍රේක්ෂක පිරිසක් වෙනමම ඒ කාලේ හිටියා.

එවකට නැටුම් ශිල්පිනියකට සමාජයේ තිබූ පිළිගැනීම කොහොමද?

මට අනිත් අය ගැන කියන්නනම් දන්නේ නෑ. මං මේ කියන්නේ මං ගැන. සිනමාවට එන්න කලින් ඉඳලම මං වේදිකාවේ නැටුවා. එතකොටත් මං කුමාරි හෙලන් කියන නමින් විශාල ජනප්‍රියත්වයක් අරගෙන හිටියා. සිනමාවට ආවට පස්සෙයි මං හෙලන් කුමාරි වුණේ. තිබූ ජනප්‍රියත්වය දස දහස් ගුණයකින් වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. මොකද මං නිළියක් වුණේ කැමරාවට විතරයි. ඉන් බාහිර ලෝකෙදි මං හරියට පරිස්සම් වුණා.

මගේ හෙවනැල්ල මගේම අම්මා පස්සෙන් හිටියා. ඒ නිසාම කවදාවත් මං කටකතා ඕපදූපවලට ලක් වෙන නිළියක් වුණේ නෑ. මං මේ කියන්නේ වගකීමක් ඇතුව. ඒ කාලේ රූගත කිරීම්වලට ගියාම මහ රෑ ජාමේ වෙනකම් කාලා බීලා නටලා විනෝද වෙනවානේ. මං ඉන්නේ හරියට රෑ දහය වෙනකම් විතරයි. ඉන් පස්සේ මං අම්මත් එක්ක මගේ කාමරේට වෙලා නිදා ගන්නවා.

කිව්වට විශ්වාස කරන්න ඔය කිසි කෙනෙක් රූගත කිරීමකදී ඇරෙන්න මගේ ඇඟට අතක් තියලා නෑ. මොකද එහෙම දේවල් නොවෙන්න හැම තිස්සේම මං වග බලා ගත්තා.

ඔබ සිනමාවට පිවිසීම සිදු වුණේ?

මං මුලින්ම කිව්වේ මං වේදිකාවේ රඟපෑවයි කියලා. මං හුඟ වෙලාවට කලේ රාජ සභාවේ නටන එක. රාජ සභාවේ නැටුම ඒ කලේ වේදිකා නාට්‍යවල ප්‍රධාන අංගයක්. එහෙම මගේ නැටුම් දැකපු එම්. වී. බාලන් තමයි මාව සිනමාවට ගෙනාවේ. ඒ විජයපාල හෙට්ටිආරච්චිගේ ‘ඔක්කොම හරි’ චිත්‍රපටයෙන්. ජීවරාණි අන්තිමට රඟපෑවෙත් ඒකේ.

ඊට පස්සේ?

‘ඔක්කොම හරි’ කළාට පස්සේ තව චිත්‍රපට කීපයකම සුළු සුළු නැටුම් ජවනිකාවලට පෙනී සිටියත් මුල් වරට කතාබහට ලක් වෙන රඟපෑමක් කළේ විජයපාල හෙට්ටිආරච්චිගේම දෙවෙනි චිත්‍රපටයේ. ‘පේනව නේද’ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ අනුලයි, ඔස්වල්ඩ් ජයසිංහයි. එතකොට ඔය ශ්‍යාමා ආනන්ද පුංචි කෙල්ල. කුමාරි හෙලන් විදිහට හිටපු මාව හෙලන් කුමාරි කළෙත් විජයපාල හෙට්ටිආරච්චි. එයා තමයි කිව්වේ අපි සන්ධ්‍යා කුමාරි වගේ නමක් ඔයාටත් දාමුයි කියලා.

ඒ නම ඔබට වාසනාව ගෙනාවා?

ඇත්තෙන්ම ඔව්. මට රැයක් දවාලත් නැති වෙන තරමට චිත්‍රපට ගලාගෙන එන්න ගත්තා. නීල් රූපසිංහ, සරත් රූපසිංහ, ලෙනින් මොරායස් වගේ ඒ කාලේ හිටපු බොක්ස් ඔෆිස් රජවරු හැම කෙනාගේම චිත්‍රපටවල රඟපාන්න මට වාසනාව ලැබුණා.

දැන් මතකද, ආවා සොයා ආදරේ, එදත් සූරයා අදත් සූරයා, සූරයන්ගෙත් සූරයා, ඔහොම හොඳ ද වගේ චිත්‍රපටවල කරපු රඟපෑම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මට මතකයි ලෙනින් එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයට ඉන්දියාවේ හෙලන්ගේ නැටුමම මගෙන් ඉල්ලා සිටියා. ඒක තමයි ඔය ලතා වල්පොල ගායනා කරන ‘මා පාවී යාවී’ ගීතයට මං ඉදිරිපත් කළ නැටුම.

ඔබ අවසන් වරට රඟපෑවේ රහසක් නැති රහසක් චිත්‍රපටයේ?

ඔව්, පුදුමෙ කියන්නේ මාව සිනමාවට ගෙනාපු එම්. වී. බාලන්ගෙමයි ඒ චිත්‍රපටයත්.

ඔබ දෙමළ චිත්‍රපට රාශියක රඟපෑවා කිව්වා?

ඔව්, මට මතක හැටියට හතකද කොහෙද හිටියා.

එදා රටක් නැල වූ ඔබ අද මේ මැදුරෙ තනියම?

ඔව් . . . ඉතින් ජීවිතේ කියන්නේ මේකට තමයි. පුතා වික්‍රම් ඉන්දියාවේ බැංග්ලෝර් විශ්ව විද්‍යාලේ ඩිප්ලෝමා එකක් කරනවා. ලබන මාසේ නිවාඩුවට එයා ලංකාවට එනවා. දුව කාර්තිකා හැටන් නැෂනල් බැංකුවේ වැඩ. මහත්තයට කොළඹ හිල් වීදියේ වික්‍රම් ප්‍රින්ටර්ස් කියලා මුද්‍රණාලයක් තියෙනවා. එයා දැන් මුදලාලි හින්දා මටත් දැන් වැඩ වැඩියි.

ඔබේ සැමියාත් නළුවෙක්?

ඔව්, ඒක අද ඊයේ ඉඳලා ඇති වෙච්ච එකක් නෙවෙයි. එයා එදා ඉඳලම රඟපෑවා. ගාමිණී ෆොන්සේකා එක්කත් එයා ටෙලි නාට්‍යයක රඟපෑවා. තව අර ‘යුග විලක්කුව’ ටෙලි නාට්‍යයේ ප්‍රභාකරන්ගේ රෝල් එක කළෙත් එයානේ. ඒ කොහොම වුණත් දැනටත් අපි දෙන්නම වේදිකා නාට්‍යවලට නම් සම්බන්ධ වෙනවා.

කැමැතියි ඒ ගැන විස්තර දැනගන්න?

අපේ තියෙනවා ‘වෙල්ලි නිලා කලා ලයම්’ කලා සංගමයක්. ඒකේ සභාපති මං. මහත්තයා ලේකම්. අපේ කලා සංගමයෙන් කරන්නේ හුඟක්ම වේදිකා නාට්‍යය. කොටහේන සිංහ සමාජයත් එක්ක එකතු වෙලා තමයි අපි මේ දේවල් කරන්නේ. මේ නාට්‍යයවලනම් මට රඟපාන්න අවසර තියෙනවා.

E1 - ඒ1/3,

මාලිගාවත්ත N.H.S

කොළඹ 10.

පෑන සහ කැමරාව - ගාමා රාජ් රණසිංහ

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1971969 Surayangeth Suraya සූරයන්ගෙත් සූරයා Actress Lenin Morais
2 2101970 Den Mathakada දැන් මතකද Actress Neil Rupasinghe
3 2151970 Penawa Neda පේනවා නේද Actress Wijepala Hettiarachchi
4 2181970 Ohoma Hondada ඔහොම හොඳද Actress J. Selvarathnam
5 2221970 Suli Sulan සුළි සුලන් Actress Anton Fernando
6 2291971 Abhirahasa අභිරහස Actress Lenin Morais
7 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Actress Lenin Morais
8 2421972 Sujeewa සුජීවා Actor Joe Dev Ananda
9 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Actress Dommie Jayawardena
10 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Actor K.A.W. Perera
11 2651973 Sunethra සුනේත්‍රා Actress Joe Dev Ananda
12 2711974 Kasthuri Suwanda කස්තුරි සුවඳ Actress Sena Samarasinghe
13 2791974 Shanthi ශාන්ති Actress Vilfrad Silva
14 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Actress Lenin Morais
15 3011975 Sukiri Kella සූකිරි කෙල්ල Actress Joe Dev Ananda
16 3161975 Hadavathaka Vasanthaya හදවතක වසන්තය Actress Sumanadasa Weerakodi
17 3281976 Harima Badu Thunak හරිම බඩු තුනක් Actress Ananda Hewage
18 3481977 Sakunthala සකුන්තලා Actress Villiam Olamas

As a Crew

Choreographers

#Film NoYearFilm RoleDirector
1 2101970 Den Mathakada දැන් මතකද Choreographers Neil Rupasinghe
2 2221970 Suli Sulan සුළි සුලන් Choreographers Anton Fernando
3 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Choreographers Neil Rupasinghe
4 2291971 Abhirahasa අභිරහස Choreographers Lenin Morais
5 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Choreographers Lenin Morais
6 2421972 Sujeewa සුජීවා Choreographers Joe Dev Ananda
7 2481972 Veeduru Geval වීදුරු ගෙවල් Choreographers Daya Wimalaweera
8 3161975 Hadavathaka Vasanthaya හදවතක වසන්තය Choreographers Sumanadasa Weerakodi

Dancing Director

#Film NoYearFilm RoleDirector
1 2711974 Kasthuri Suwanda කස්තුරි සුවඳ Dancing Director Sena Samarasinghe