SUMMARYPHOTOS
Ananda Jayarathna
1930 - 28
59.706840390879
60% |   614  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

NATIONAL AWARDS

 
FILMOGRAPHY


AS CAST MEMBER

1Surathali
Actor
1956
2Sohoyuro
Actor
1958
3Sandeshaya
Main Actor
1960
4Sundara Birinda
Actor
1960
5Weera Wijaya
Actor
1960
6Adata Vadiya Heta Hondai
Main Actor
1963
7Udarata Manike
Main Actor
1963
8Kala Kala De Pala Pala De
Main Actor
1964
9Patachara
Main Actor
1964
10Sujage Rahasa
Actor
1964
11Sepatha Soya
Main Actor
1965
12Yatagiya Dawasa
Actor
1965
13Hathara Maha Nidhanaya
Actor
1965
14Adarayai-Karunawai
Actor
1965
15Dehadaka Duka
Actor
1968
16Mee Masso
Main Actor
1969
17Den Mathakada
Actor
1970
18Ihatha Athmaya
Main Actor
1972
19Lassana Kella
Actor
1975
20Vaanarayo
Main Actor
1976
21Saradiyelge Putha
Actor
1976
22Anusha
Actor
1979
23Nelum Ha Samanmalee
Actor
1993
24Ahas Maliga
Actor
1994

AS CREW MEMBER

1Adarayai-Karunawai
Director
1965
BIOGRAPHY

 බොරැල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන ට්‍රොලි බස් රියකි. බටහිර චිත්‍රපට නළුවකු බඳු කඩවසම් තරුණයෙක් බසයේ සිටී. තලතුනා පෙනුමකින් යුත් මහත්මයෙක් මේ තරුණයා දෙස තරමක ඕනෑකමකින් බලයි.

‘ඉලන්දාරියා බෑරක්ද?’

තලතුනා මහත්මයා අසයි.

‘මම කොටුවට යනවා’

තරුණයා පිළිතුරු දෙයි.

‘ඔයා හරියට හොලිවුඩ් නළුවෙක් වගෙයිනේ’

මැදි වියේ මහතා කියයි.

‘බොහෝම ස්තූ®තියි’

මන්දස්මිතයක් නඟන තරුණයා ඊට කෘතඥතාව පළ කරයි.

‘ඇත්තටම චිත්‍රපටයක රඟපාන්න කැමැතිද?’

තලතුනා මහත්මයාගෙන් තවත් ප්‍රශ්නයකි.

‘කවුද අපිට චිත්‍රපට දෙන්නේ?’

තරුණයා ඕනෑවට එපාවට මෙන් කියයි. කතාව මේ අයුරින් දිග්ගැස්සී යයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මැදිවියේ මහතා මේ තරුණයාට ලිපිනයක් දීමයි. ඒ මරදාන නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ පිහිටි සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් කාර්යාලයයි.

පසුදා කාර්යාලයට එන තරුණයාට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබේ. තරුණයා

ආනන්ද ජයරත්නය. මැදි වියේ මහතා ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්නය. දැන් ඉතිං චිත්‍රපටයේ නමද ඔබට නොකියා නොහැකිය. චිත්‍රපටය ’සුරතලී’ය. ආනන්ද ජයරත්නගේ සිනමා ප්‍රවිෂ්ටය සිදු වුණේ එවන් අහඹු ආකාරයටය.

1930 දී මාතර නූපේ උපන් ආනන්ද මූලික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල සීවලී විදුහලෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහලෙනි.

ආනන්ද වෘත්තියෙන් ගුරුවරයෙක් වූයේය. හිටපු කතානායක, සබරගමු ආණ්ඩුකාර වි. ජ. මු. ලොකු බණ්ඩාර සහ හිටපු ඇමැති සමරවීර වීරවන්නි යන දෙදෙනා ආනන්දගේ ශිෂ්‍යයෝ වෙති. එසේම ආනන්ද විනෝදාංශයක් වශයෙන් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් වාර්තාකරුවකු වශයෙන් කටයුතු කළේය. එපමණක් ද නොවේ. ඔහු ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයකු ලෙස ද කැපී පෙනුණේය.

සිරිල් පී. අබේරත්න ට්‍රොලි බස් රියේදී හමු වූයේ පාපන්දු තරගයක් සඳහා ආනන්ද කොළඹ පැමිණි අවස්ථාවකදීය.

‘සුරතලී’ ආනන්ද පමණක් නොව එච්. ආර්. ජෝතිපාල සිනමාවට ප්‍රවිෂ්ට වූ චිත්‍රපටයකි. ජෝතිපාල මේ චිත්‍රපටයට ගැයූ ‘සිරියාමේ සාරා’ ගීතය වෙනුවෙන් චිත්‍රපටයේ පෙනී සිටියේ ආනන්දය. එසේම විකට නළු ඇල්. ඇම්. පෙරේරා රඟපෑ මුල්ම චිත්‍රපටය ද මෙය වන්නේය.

‘සුරතලී’ට පාදක වූයේ රාජ් කපූර්ගේ අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘බර්සාත්’ ය. එහි ප්‍රේම්නාත් රඟපෑ චරිතයයි මෙහි ආනන්ද රඟපෑවේ.

සුසිල් එම චරිතයේ නමය. සුසිල් සෙල්ලක්කාර තරුණයෙකි. මීට ඉහත එබඳු සෙල්ලක්කාර තරුණයකුගේ චරිතයක් රඟපා තිබුණේ ඩොමී ජයවර්ධනය. ඒ ‘සුජාතා’ චිත්‍රපටයේය. එහෙත් ආනන්ද ‘සුරතලී’ චිත්‍රපටයේ ප්‍රේම්නාත් හෝ ඩොමී අනුකරණය නොකර තමන්ටම ආවේණික වූ රංග ශෛලියකින් එකී චරිතය නිරූපණය කළේය. ඒ රංග භාවිතාව බොහෝ දුරට බටහිර නළුවන්ගේ් රංග ශෛලිියට සමාන වූයේය.

තමා මාලන් බ්‍රැන්ඩෝ, රිචඩ් බර්ටන්, ඇන්තනි ක්වීන්, සර් ලෝරන්ස් ඔලිවියර්, බර්ට් ලැන්කැස්ටර් වැනි බටහිර නළුවන් ප්‍රිය කරන බව ආනන්ද වරක් කියා තිබිණි. ඩොමීගෙන් පසු සිංහල සිනමාවේ බිහි වූ වඩාත්ම සරාගීපුරුෂ සංඥාර්ථය ආනන්ද වූයේය.

‘සුරතලී’ චිත්‍රපටයේ රූ ගැන්වීම් සිදු කෙරුණේ ඉන්දියාවේදීය. ඒ සඳහා ආනන්ද දෙමසක නිවාඩුවක් ඉල්ලා සිටියත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. චිත්‍රපටය තිරගත වන විට ආනන්ද ගුරු වෘත්තියෙන් ඉවත් කරනු ලැබ තිබිණි. ‘ සුරතලී’ මංගල දර්ශනය දා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතාය. චිත්‍රපටය නිම වූ පසු ආනන්ද හමු වූ දහනායක මහතා ඔහුට සුබ පැතුවේය.

‘බොහෝම හොඳ රඟපෑමක්’

‘රඟපෑම් නම් හොඳයි. ඒත් රඟපාන්න ගිහිල්ලා මගේ රස්සාව නැති වෙලයි තියෙන්නේ ඇමැතිතුමා’

ආනන්ද කීවේය. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ දහනායක මහතා ආනන්දට නැවතත් රැකියාව ලබා දුන්නේය.

‘සුරතලී’ චිත්‍රපටයේ රංගන සාර්ථකත්වයත් සමඟම ආනන්දට චිත්‍රපට ගලාගෙන ආවේය. කොටින්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙවැනි චිත්‍රපටය වූ ‘සංදේශය’ ප්‍රධාන චරිතය (බණ්ඩාර) පවා ලැබුණේ ආනන්දටය. එහෙත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පසු කලෙක කීවේ එය තමාගේ වැරදි තීරණයක් බවය. ඇතැම් විට ආනන්ද අභිබවා චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා ඉස්මතු වීම ඊට හේතු වූවා විය හැකිය. ‘සංදේශය’ විවේචනය කළ ප්‍රවීණ සිනමා විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩ ආනන්ද ගැන කියමින් ඔහු වරදක් නැතත් ලැබී ඇති කොටසින් නියම ප්‍රයෝජන ගෙන නොමැති බව කියා සිටියේය. එය සත්‍යයකි.

‘සෙහොයුරෝ’, ‘අදට වැඩිය හෙට හොඳයි’ ‘සුන්දර බිරිඳ’, ‘වීර විජය’, ‘උඩරට මැණිකේ’, ‘කළ කළ දේ පල පල දේ’, ‘පටාචාරා’, සුජාගේ රහස’ ‘සැපත සොයා’, ‘යටගිය දවස’, ‘හතර මහ නිධානය’, ‘දෙහදක දුක’, ‘මී මැස්සෝ’, ‘දැන් මතකද?’ ආනන්ද රඟපෑ තවත් චිත්‍රපට කීපයකි. ඒවායින් ‘මී මැස්සෝ’ චිත්‍රපටයේ ආනන්ද කළ රංගනය වඩාත් කැපී පෙනිණි.

ආනන්ද ශ්‍රීී ලංකා - ජර්මන් හවුල් නිපැයුමක් වූ ‘ත්‍රී යෙලෝ කැට්ස්’ (කහ බළල්ලු) චිත්‍රපටයේද චරිතයක් රඟපෑවේය. ඒ රහස් පරීක්ෂකවරයකු ලෙසිනි.

හැත්තෑව දශකයේ දී ආනන්ද රඟපෑවේ චිත්‍රපට තුන හතරක පමණි. ඒවායින් වඩාත් කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළේ ‘ඉහත ආත්මය’ චිත්‍රපටයේ යැයි මම සිතමි. මව්පියන්ගේ දුරාචාරවත් විවාහ ජීවිතයක් හේතු කොට ගෙන මානසිකව පීඩාවන්ට ලක් වී ජීවිතය අඳුරු කර ගන්නා තරුණයකු (සනී) ලෙස ආනන්ද එහි මාහැඟි රංගනයක් ඉදිරිපත් කළේය. ඒ හැරුණු කොට ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටයේ ආනන්දගේ රඟපෑම් (විජේසේකර මුහන්දිරම්) වුව ප්‍රමාණවත්ය.

ආනන්ද අවසන් වරට රඟපෑවේ ‘නෙළුම් සහ සමන්මලී’ චිත්‍රපටයේය.

ආනන්ද දක්ෂ චරිතාංග නළුවකු වුවත් ඔහුගේ ප්‍රතිභාවෙන් සිංහල සිනමාව නිසි ප්‍රයෝජන ගත්තේ නැතැයි යන හැඟීම මා තුළ පවතී.

ඔහු කිසිදා සම්මානයකට පාත්‍ර නොවූ නළුවෙකි. සිංහල සිනමාව ආනන්දගේ ප්‍රතිභාවෙන් නිසි ප්‍රයෝජනයක් නොගත්තේ් ඇයි? ඊට හේතුව ඔහුගේ පැවැත්මේම තිබූ දුර්වලතාද? ආනන්ද කරදරකාරයෙක්ය යන ආකල්පයක් සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු තුළ තිබූ බවක් පෙනේ. ඒ සම්බන්ධයෙන් ආනන්ද පවා අදහස් දැක් වූ අවස්ථා තිබේ.

‘මම කරදරකාරයෙක් හැටියට දැන් හුඟක් අය හඳුන්වනවා. ඇත්ත මම කරදරකාරයෙක්.

හැබැයි ඒ කරදරකාරයෙක් වුණේ එහෙම කියන ඒ අයත් මට කරදරයක් වුණු නිසා. ඇත්ත කිව්වම මිනිසුන්ගේ මුහුණු ඇකිළෙනවා. ඇත්ත පෙනි පෙනී බොරුව කරන්න මං ඉගෙන ගෙන නැහැ’ (සරසවිය 1972 ඔක්තෝබර් 13).

කරදරකාරයකු වීම කෙසේ වෙතත් ආනන්ද කිසිවකුට යටත් නොවූ පුද්ගලයකු බව නම් පැහැදිලිය. වරක් චිත්‍රපටයක රූගත කිරීමකට ඉන්දියාවට ගිය අවස්ථාවක දෙමළ සිනමාවේ සුපිරි නළු සිවාජි ගනේෂන් ආනන්ද සිටි චිත්‍රගාරයට පැමිණියේය. ඒ මොහොතේ ආනන්ද සිටියේ කකුළක් පිට කකුළක් දමා පත්‍රයක් බලමිනි. ආනන්ද වෙත පැමිණි කිසිවෙක් කකුළ පහළට දමන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය.

‘ඒ ඇයි’

ආනන්ද ඇසුවේය.

‘සිවාජි ගනේ්ෂන් ඇවිල්ලා’

‘ඉතිං මට මෙකෝ? එයා මං ගැන ඇහැව්වොත් තමුසේ කියනවා, ඒ තමයි ලංකාවේ මහ නළුවා ආනන්ද ජයරත්න කියලා’

කෝපයෙන් යුතුව පිළිතුරු දුන් ආනන්ද තමා එතෙක් සිටි ඉරියව්වෙන්ම පත්‍රය බලන්නට පටන් ගත්තේය.

කෙසේ වෙතත් ආනන්ද දර්ශන තලයේ රඟපාද්දී ඇතැම් දෙමළ නළුවන් ඔහුගේ රඟපෑම් බැලීමට පැමිණුනු බව ද මම අසා ඇත්තෙමි.

ආනන්ද එකම එක චිත්‍රපටයක් පමණක් අධ්‍යක්ෂණය කර ඇත. ඒ ‘ආදරයයි කරුණාවයි’ නම් වූ චිත්‍රපටයයි. ආනන්ද නළුවකු වුණත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඔහු තෝරා ගත්තේ ගාමිණී ෆොන්සේකාය.

ආනන්ද පසු කලෙක ලීල් ගුණසේකරගේ ‘පෙත්සම’ නවකතාව චිත්‍රපට ගත කිරීමට අදහස් කරගෙන සිටියත් ඔහුගේ මරණය නිසා එය ව්‍යර්ථ වී ගියේය.

ආනන්ද 1966 බිහි වූ හෙළ චිත්‍රපට නළු නිළි සංගමයේ (නළු නිළි හවුලේ) සම ලේකම් වශයෙන් කටයුතු කළේය. රුසියාවේ මහා ලේඛක මැක්සිම් ගෝර්කිගේ කියුමක් ආනන්ද නිතරම සිහිපත් කළේය. ඒ මෙපරිදිය.

‘ජීවිතේ කියන්නේ තමන් විතරයි. තමන් නැතිවට අනෙක් මිනිස්සු ජීවත් වෙනවා’

ආනන්ද තවත් උද්ධෘතයක් නිතර ගෙනහැර පෑවේය.

‘ජීවිතය අදට පමණක් සීමා වූවක්. ඊයේ සිහිනයක්, හෙට මායාවක්.

ගාමිණී ෆොන්සේකා වැනි නළුවකුට පමණක් දෙවැනි විය හැකිව තිබූ රංග ප්‍රතිභාවක් විශද කළා වූ මේ විශිෂ්ට ගණයේ චරිතාංග නළුවා 1984 දී සිරුරට ගිනි තබාගෙන අකාලයේ ජීවිතක්ෂයට පත් වූයේය.

- සුනිල් මිහිඳුකුල

 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS