INFOSONGSPHOTOS
Hondata Hondai / හොඳට හොඳයි
[ Black & White 35mm ]
Film No : 270
Released Date : 1973-12-21
58.953642384106
59% |   1510  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Hondata Hondai / හොඳට හොඳයි
Film No : 270
Released Date : 1973-12-21
Colorimeter : Black & White
Video Format : 35mm
Category :
Company : Sevan Arts
Main Actor : Gamini Fonseka
Main Actress : Malani Fonseka
Director : J. Selvarathnam
Producer : Merium Fernando
Producer : Prem Jayanth
Producer : Oliver Fernando

 
DESCRIPTION

හැත්තාව දශකයේ තිරයට පැමිණි චිත්‍රපට අතරින් ගාමිණි-මාලිනි යුගය වර්ණවත් කළ තවත්  එක් චිත්‍රපටයකි 1973 වසර අග පමණ තිරයට පැමිණි "හොඳට හොඳයි' චිත්‍රපටය, එම වසරේ සිනමාස් මණ්ඩලයේ සිනමාහල්වල තිරගතවූ ගාමිණි-මාලිනි යුගලය ප්‍රධාන චරිත රඟපෑ සිවුවන චිත්‍රපටය වශයෙන්ද මෙය හැඳින්විය හැක. මෙහි විශේෂත්වය 1973 වසරේ සිනමාස් මණ්ඩලය තිර ගත කළ චිත්‍රපට හතෙන් මාතර ආච්චි,සුහද පැතුම,හත්දින්නත් තරු,යන චිත්‍රපට තුන (මෙම චිත්‍රපටවලද ගාමිණි නොමැතිව මාලිනි රඟපෑවාය)හැරුණු විට ඉතිරි චිත්‍රපට හතර වූ සදහටම ඔබ මගේ,හොඳම වෙලාව,හොඳයි නරකයි,හොඳට හොඳයි යන චිත්‍රපට හතරේම ප්‍රධාන නළු නිලි යුවල ගාමිණි-මාලිනි වීමය. මෙයින් හොඳම වෙලාව,හොඳයි නරකයි,හොඳට හොඳයි යන චිත්‍රපට තුනම පිලිවෙලින් එක දිගට තිරහත වූ අතර සිනමාස් මණ්ඩලයේ 1973 වසරේ අවසන් චිත්‍රපටය වූ හොඳට හොඳයි චිත්‍රපටයෙන් පසු 1974 වසරේ එම මණ්ඩලයේ මුලින්ම තිරගත වුවේද තවත් ගාමිණි-මාලිනි චිත්‍රපටයකි,ඒ කස්තුරි සුවඳය. හොඳට හොඳයි චිත්‍රපටය 1972 තිරගතවූ සහනය චිත්‍රපටයෙන් පසු සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයද වෙයි. මෙහි ප්‍රධාන දුෂ්ට චරිතය බැප්ටිස්ට් ප්‍රනාන්දු ගෙනි,ඔහුගේ සහායකයින් ලෙස එදා සිටි දක්ෂතම සටන් නළුවන් දෙදෙනෙකුවූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,බන්ධු මුණසිංහ යන දෙදෙනා රඟපෑ අතර එඩි ජයමාන්න,රුක්මනී දෙවි,සෝනියා දිසා, ශාන්ති ලේඛා,පුජිත මෙන්ඩිස් සමග බේබි සුරේඛා යන ළමා නිලියද චරිත නිරුපනයෙහි යෙදුණි. ඇන්තනි.සි.පෙරේරා සුපුරුදු ලෙස මෙහිද ගාමිණීගේ සහායකයාය, ඔහුගේ හා දොන් සිරිසේනගේ විකට ජවනිකාවලින් චිත්‍රපටය වඩාත් විනෝදමත්වූ බව කිවමනාය.
 
නිර්භීත තරුණයෙකු වන චන්දන ලෙස ගාමිණි පෙනී සිටින අතර කතාව සැකෙවින් මෙසේය, ධනවත් කර්මාන්ත ශාලා හිමිකරුවෙකු ලෙස එඩි ජයමාන්නත් ඔහුගේ බිරිද ලෙස මෙහි රුක්මනී දේවිත් පෙනී සිටිති ,ඔවුන්ගේ දියණියන් වන චමි ලෙස මාලිනිද වැඩිමල් දියණිය කුමාරි ලෙස සෝනියා දිසාද රඟපාන අතර සෝනියා ගේ සැමියා ගේ චරිතය රඟපාන්නේ බැප්ටිස්ට් ප්‍රනාන්දුය.ඔවුනට කුඩා දියනියක්ද වේ. කුමාරිගේ සැමියා හොඳ පුද්ගලයෙකු නොවේ,ඔහු තම සහචරයින්  වන ඇලෙක්සැන්ඩර්,බන්ධු මුණසිංහ,පුජිත මෙන්ඩිස් යන අයවලුන්සමග එක්වී පවුලේ දේපල තමන් හට අත් කර ගැනීමට උත්සාහ දරන අතර දිගින් දිගටම සිදුවන මොවුන්ගේ නොපනත් කම් හමුවේ නිහඬව සිටින්නට නොහැකි තැන එඩි තම බෑනා කෙනෙකු වන චන්දන (ගාමිණි)තම කර්මාන්ත ශාලාව සඳහා ගෙන්වා ගනියි,බැප්ටිස්ට් ඇතුළු සගයින් පාලනය කිරීමට ඔහු සමත් වන අතර  එක අවස්තාවක බැප්ටිස්ට් ප්‍රනාන්දු ඇතුළු ඔහුගේ සහචරයින් විසින් ඔහු අන්ධ භාවයට පත් කරවනු ලබයි,ඔවුන් සිතා සිටින අයුරින් ඔහු අන්ධ නොවන නමුත් ඔහු අන්ධයෙකු ලෙස පෙනී සිටිමින් ඔවුන්ගේ සොර මැරකම් අල්ලා ගනියි, මෙහි අමතක නොවන ජවනිකාවක් ලෙස චිත්‍රපටය අවසානයේ විශාල ගොඩනැගිල්ලක ඉහල සිට ගාමිණි හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අතර වන සටන නම් කළ හැක. එමෙන්ම ඇන්තනි සි.පෙරේරා හා ෆ්‍රෙඩි සිල්වා කාන්තාවන් දෙදෙනෙකුගේ වෙස් ගෙන "මගේ රුපේට ආසාවී" නමැති ගීතය සඳහා පෙනී සිටින්නේ චිත්‍රපටයට  සිනහ රසය එක් කරමිනි.
 
චිත්‍රපටයේ නාමාවලිය දිග හැරෙනුයේ චිත්‍රපටයේ මැද පමණ ඇති ජවනිකාවක් තිරයේ දිග හැරෙමිනි, එනම් ආගන්තුකයෙකු ලෙස ඉංග්‍රීසි ගොපලු චිත්‍රපටවල කතා නායකයා හැඳ සිටින අයුරෙන් තොප්පියකින් සැරසී කබායක් පොරවාගෙන පැමිණෙන ගාමිණි බැප්ටිස්ට් ප්‍රනාන්දුට පහර දෙන ජවනිකාවලියකිනි. හෝ වසන්තයේ මේ,මල් වැහි සිතල මල් වැස්සේ,මේ මාමා පොඩිකාලේ,(ජෝතිපාල,ඇන්ජලින්),ප්‍රේමේ සිහිනේ කුමාරි (ජෝතිපාල),මගේ රුපෙට ආසාවි (ජෝතිපාල,ෆ්‍රෙඩි සිල්වා) වැනි රසාලිප්ත ගීතවලින් රසවත්වූ හොඳට හොඳයි චිත්‍රපටයේ ගීත ගායනා කළේ  එච්.ආර්.ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක,ෆ්‍රෙඩි සිල්වා,බේබි ශිරෝමි වැනි ගායක ගායිකාවන්ය. ගීත රචනා කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ හා මෙල්රෝයි ධර්මරත්නය. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සටන් පුහුණුවෙන් මෙන්ම රොනල්ඩ් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂනයෙන්ද දායක වුහ.
 
1973 වසර අවසන ප්‍රේක්ෂක ප්‍රසාදය මධ්‍යයේ මරදාන ගාමිණි ඇතුළු සිනමාහල් රැසක සාර්ථකව තිර ගත වූ හොඳට හොඳයි චිත්‍රපටය කතාව මෙන්ම තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළේ මෙරට,ජනප්‍රියතම චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කර සිටි ජේ.සෙල්වරත්නම්ය.
 
www.films.lk වෙනුවෙන් 
අනිල් වීරසිංහ
0716358123
 
CAST

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS