Sampath Sri Nandalochana

Sampath Sri Nandalochana

සම්පත් ශ්‍රී නන්දලෝචන

58.82% · 1,613 votes
Rate this artist

Summary

NameSampath Sri Nandalochana
Sinhala Nameසම්පත් ශ්‍රී නන්දලෝචන

Biography

1971 දී තිරගත වූ කතුරුමුවාත් චිත්‍රපටයේ නීතිඥයකු ලෙස ඉතා ප්‍රබල, එහෙත් සුළු චරිතයක් රඟ පෑ හිසේ එක කෙස් ගසක්වත් නැති නළුවා ඔබට මතකද? උසාවියේ චූදිතයකුගෙන් ඔහු හරස් ප්‍රශ්න ඇසුවේ තම උකුසු ඇස ඔහු වෙත යොමු කරවමිනි. පසු කලෙක ඔහු රහස් පරීක්ෂක වෛද්‍යවරයකු ලෙස ද, වරෙක ජපන් ජාතික මහාචාර්යවරයකු ද, තවත් වරෙක උමතු රෝගියෙකු ලෙස ද පර්යේෂකයකු ලෙස ද රඟපෑවේය. ඔහු නමින් සම්පත් ශ්‍රී නන්දලෝචන ය.

ඔහු සිනමාවට එක් වූයේ අහම්බෙනි. දිනක් චිත්‍රපට අධ්‍යක්ෂක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා කිසියම් කාර්යක් සඳහා මිතුරෙකු හමුවීමට කොම්පඤ්ඤ වීදියේ දුම්රිය පොළ ඉදිරියේ පිහිටි ceylon cold stores (එඩිෆන්ට් හවුස්) එකට ගියේය. මිතුරා සමඟ එක්තරා නිල කුටියකට ගිය කේ.ඒ.ඩබ්ලිව් ට සම්පුර්ණයෙන්ම හිස බා සිටි ( තට්ට හිසකින් යුතු) ගැඹුරු පෙනුමකින් යුතු, හීන්දෑරි පුද්ගලයකු හඳුනා ගැනීමට හැකි විය. තමාගේ අලෙවි කළමනාකාර කුටියට පැමිණි අමුත්තා ඕනෑකමින් බලනු දුටු ඔහුගේ උකුසු නෙතට හසු විය. කතාබහ අවසන් විය. සමුගැනීමට සැරසුණු කේ.ඒ.ඩබ්ලිව්. තමා මිතුරා කනට යමක් කෙඳුරුවේය. මිතුරා අලෙවි කළමනාකරුට මෙසේ කීය.

“ මිස්ටර් නන්දලෝචන, මේ මිස්ටර් කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මිස්ටර් පෙරේරා කැමතියි මිස්ටර් නන්දලෝචන චිත්‍රපටයක චරිතයකට තෝරා ගන්න. මිතුරා කීවේ මේ නිලධාරියා තද ගති ඇති, කෙළින් වැඩ කරන නිලධාරියෙක් බව දන්නා නිසා කාරුණික වදනකිනි.

“ බොහොම කනගාටුයි, මිස්ටර් පෙරේරා, මගේ රාජකාරියේ හැටියට රඟපාන්න වේලාවක් නැහැ. අනික මම රඟපෑමට ඒ තරම් දක්ෂ කෙනෙක් නොවෙයි.”

කේ.ඒ.ඩබ්ලිව් තවත් කරුණු පැහැදිලි කළත් ඉන් පලක් නොවීය. උත්සාහය අත්හැරීමට නොහැකි වූ ඔහු චිත්‍රපට නිෂ්පාදක රාමේෂ්වම් හමුවීමට ගොස් කෙසේ හෝ නන්දලෝචන තම චිත්‍රපටයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

පසුදින නන්දලෝචනට තම හිත මිතුරෙකු වූ සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ එම්.රාමේෂ්වරම්ගෙන් ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණේය.

“ මම නිෂ්පාදනය කරන චිත්‍රපටයක් හෙට පටන් ගන්නවා. මම වෙනුවෙන් මේ චිත්‍රපටයේ රඟපෑමට එන්න ඕනේ. ඒක මට කරන උපාකාරයක්.”

නන්දලෝචනට තරු පෙනිණි.

“ හොඳයි මම ඔබ නිසා මේ අවදානම භාර ගන්නම්.”

මම මිතුරාගේ ඉල්ලීමට එකඟ වුවද ඒ වගකීම ඉටු කරන්නේ කෙසේද? “ මට රඟපෑමට හැකි වේවිද? ..... වචනයදී හමාරය. ඔහු වචනයක් කිව්වොත් කීවාමය. පුංචි කාලයේ සිටම “ වචනයට වැඩ කිරීම” ඉටු කිරීමේ අවස්ථාව දැන් උදා වී තිබේ යයි නන්දලෝචන හිත හදා ගත්තේය.

1971 දී ඔහු රඟ පෑ “ කතුරුමුවත්” චිත්‍රපටය ප්‍රදර්ශනය වුවත්, ඔහු මුලින්ම රඟපෑවේ පසුව ( 1973) තිරගත වූ “ අපරාධය හා දඩුවම” චිත්‍රපටයේය. “ කතුරුමුවත්” චිත්‍රපට තිරගත වන කාලේ 1973 දී ඔහු මම “ සරසවිය” පුවත්පත සඳහා හමු වුණෙමි. එදා ඔහු විස්තර කළේ තමා මුල්ම දර්ශනයට මුහුණ දුන් ආකාරය.

“ අපරාධය හා දඬුවමේ මුලින්ම මම පෙනී සිටිය දර්ශනය මට කිසිදාක අමතක වෙන්නේ නෑ. එදා රූපගත කිරීම තිබුණේ සඳලංකාවේ. මම එදා මුළු දවසම අනික් අයගේ ගන්නවා බලා හිටියා. මගේ දර්ශන ගත්තෙම නැහැ. මට මේක පුදුමයක්. ඔක්කෝම රූපගත කිරීම් ඉවර වුණාට පස්සේ කේ.ඒ.ඩබ්ලිව්. මට කතා කළේ.

“ අපි හෙට උදේ ඉඳලා වැඩ කරමු කියලා.”

කලින් දවසේ මම රඟපෑම ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. පසුවදා කේ.ඒ.ඩබ්ලිව් මට එදා කරන දර්ශනය තෝරල දුන්නා. බස්තමක් අතින් වන වනා ගෙයකට ඇතුළු වී කිසිවකු නොසිටින බැවින් එහි දොරට තට්ටු කිරීමයි ඒ. මම කියපු විදිහටම කළා. මාත් එක්ක මුලින්ම රඟපෑවේ රූබී ද මැල්. දර්ශනය ඉවර වුණාම “ අපූරුයි හරිම හොඳයි” කිව්වා. මම මේ චිත්‍රපටයේ රඟපෑවේ ධනවත් හොරෙක් හැටියටය.

එතැන් සිට නන්දලෝචන චිත්‍රපට රැසක් රඟපා ඇත. කතුරුමුවත් හී නීතිඥයා, ලෙනිත් මොරායස් ගේ “ අභිරහස” චිත්‍රපටයේ රහස් පරීක්ෂක දොස්තර, “ එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටයේ සල්ලි පොලියට දෙන මුස්ලිම් වෙළෙන්දා, කේ.ඒ.ඩබ්ලිව්.ගේ ලොකුම හිනාව චිත්‍රපටයේ උමතු රෝගියා, ටයිටස් තොටවත්තගේ “ සිනසුන” චිත්‍රපටයේ ජපන් ජාතික ප්‍රොෆෙසර් ඉකුරා, කේ.ඒ.ඩබ්ලිව් ගේ “ දුලීකා” චිත්‍රපටයේ බියුලා ඩයස් ගේ පියා සරත්චන්ද්‍ර හේරත් ගේ “ වානරයෝ” චිත්‍රපටයේ වඳුරන් ගැන පර්යේෂණ කරන විද්‍යාඥයකු ලෙස රඟ පෑ ඔහු “ කල්යාණී ගංගා” , ඔන්න මාමේ කෙල්ල පැනපි, වාසනා “ යාර් අවල්” ( දමිල චිත්‍රපටය) , “ හිඟන කොල්ලා”, “ ජනක සහ මංජු”, “ අක්කෙ මට අවසර” , “ උතුමාණෙනි”, “ රණ දෙරණ” චිත්‍රපටවල ද රඟපෑවේය.

1927 ජූලි 08 වෙනිදා බම්බලපිටියේ උපත ලැබූ සම්පත් ශ්‍රී නන්දලෝචන මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ බම්බලපිටියේ විශාඛා විද්‍යාලයෙනි. කොළඹ නාලන්දා විද්‍යාලය, බම්බලපිටියේ ශාන්ත පොල් විද්‍යාලය සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ද වැඩිදුර ඉගෙනුම ලබා ඇත.

ශාන්ත තෝමස් විද්‍යාලයේ උගන්නා සමයේ යන කාලයේ ඔහු නාට්‍ය රඟපෑමට හා නාට්‍ය රචනයට සම්මාන ලබා ඇත. එපමණක් නොව දක්ෂතම ක්‍රීඩකයකු ලෙස “ වර්ණ” ලාභියෙකු වූ ඔහු 1949 පාසල් දිවියෙන් සමු ගෙන උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට බැඳී එහිදී ද ක්‍රීඩාවෙන් දස්කම් දක්වා ඇත. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ඛ්ධ්ච්) උසස් නිලයක් දරා ඇති අතර 1953 වසරේ එවකට අග්‍රාමාත්‍යව සිටි සර් ජෝන් කොතලාවල මහතා ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බවට පත් විය.

“ මම ජිවිතය නොතකා අවදානම් අවස්ථා රැසකට මුහුණ දුන්නේ පොලිසීයේ සේවය කරන කාලේ. ආගරපතන ප්‍රදේශයේ අවුරුදු 14 ක් තිස්සේ තිබූ දූෂණ හා හොරකම් සතියක් තුළදී දුරු කිරීමට පුළුවන් වුණා. දිවා රෑ නොබලා මම රාජකාරිය ඉටු කළේය. රාජකාරි ඇඳුමෙන් සැරසී නිදා සිටි මම නිදාගත් පැයක පමණ කාලයේ වුණත් හිසේ පැලඳී “ පොලිස් කැප්” එක ගැලෙව්වේ නෑ. එය ගැලවේ යයි සිතූ මම එය පටියක් දමා නොවැටෙන ලෙස සකස් කර ගත්තා. එයට හේතුව නිසා මගේ හිස කෙස් ක්‍රමයෙන් අඩු වුණා. ඉන් පස්සේ ක්‍රම ක්‍රමනේ හිස කෙස් ගැලවුණා. පස්සේ මම හිස බූ ගා ගත්තා. එක් ජාවරම්කාරයෙක් මට රු.10000 ක අල්ලසක් දීමට සැරසෙද්දී ඔහු අත්අඩංගුවට ගත්තා. මේ නිසා මට “ මෘගයා” යන අන්වර්ථ නාමයෙන් දාමරිකයන් හඳුන්වන්නට පටන් ගත්තා.” නන්දලෝචන එදා මට විස්තර කළේය.

1959 ඔහු පොලිසීයෙන් ඉවත් වී රටවල් 13 ක සංචාරයක් කොට ..... පෙරළා පැමිණ “ එලිෆන්ට් හවුස්” හි වෙළඳ කළමනාකාර හා නිෂ්පාදන කළමනාකාර තනතුරු දැරීය.

“ නන්දලෝචන අලියා සිසිල් බීම සමාගමට බැදී මා 1971 හමුවන විට එහි ප්‍රධාන වෙළඳ කළමනාකරු හා ප්‍රචාරක කළමනාකරුව සිටියේය.

“ මම අවංකව වැඩ කරන්න උත්සාහ කළ මිනිහෙක්. මම බය නැතිව නීතියට එකඟව වැඩ කළාය. අවංක කම නිසා මට හැමදේම හොඳට කළා. අවංක මිනිහට කවදාවත් වරදින්නේ නෑ.” මගේ තාත්තා මට දුන්න උපදේශයක් මම තවම ආධුනික නළුවෙක්. මගේ රඟපෑම් දැකලා අඩුපාඩු කියනවා නම් මම හිසපාත් කරලා පිළිගන්නවා. කාර්යබහුල මගේ රැකියාවෙන් මිදී ඉඳහිට හෝ රඟපෑමෙන් මම උපරිම තෘප්තියක් ලබනවා. මට චරිතයක් ලැබුණාම ඒක ගැන හුඟාක් ඉගෙන ගන්න උත්සාහ ගන්නවා. චිත්‍රපටයේ කතා පිටපත අරං එහි කොටස් මගේ දයාබර බිරිඳට, මගේ දරුවන්ට බෙදා දී මාත් එකතු වී රඟපානවා.”

විනෝදයට මාළු ඇති කරන නන්දලෝචන වත්තේ වැඩ කිරීමෙන් ද, මිරිස් ඇතුළු බෝග වැවීමෙන් අපූරු වින්දනයක් ලැබූ බව මීට වසර 45 කට පමණ පෙර ඔහු ගේ නිවසට ගිය මට පැහැදිලි විය. සම්පත් ශ්‍රී නන්දලෝචන රන්ජන් ද සිල්වාගේ “ සුදු පරෙවියෝ” ටෙලිනාට්‍යයේ ද රඟපෑවේය.

ඔහු මට හමු වූ පුදුම නළුවෙකි. ඔහුටම ආවේණික ගති පැවතුම් සමුදායක් තිබුණි. ඔහුගේ නිවසට ගිය මට වරක් බිත්තියේ එල්ලා තිබූ තම ඡායාරූපයක් පෙන්නා, එය ගලවා එහි පිටුපස සීල්කර තිබූ ලිපියක් පෙන්වීය. මේ 1973 වසෙර්ය.

“ මට දැන් අවුරුදු 44 යි. දැන් තියාම මම මරණයට සූදානම් වෙලා ඉන්නේ. මේ තියෙන ලියුමේ තියෙන්නේ මම මියගිය පසු කළ යුතු දේ. ඒ සඳහා Undertaker ලාට ( මල් ශාලාවකට) මුදල් අත්තිකාරමකුත් ගෙවල තියෙන්නෙ.

“ ඇයි මිස්ටර් නන්දලෝචන කල් තියාම මරණයට සූදානම් වෙන්නෙ. තාම තරුණයෙක්නෙ.” මම කීවෙමි.

“ මගේ ජීවිතය සැලසුම් සහිතව සකස් කළ එකක්. වේලාවට, අකුරට වැඩ කිරිම මගේ සිරිතක්නේ. මරණයත් ඒ විදිහටම විය යුතු බව මම හිතුවා. ඒ සඳහා මම බිරිඳටත් කියලා තියෙන්නෙ.”

“ මරණයට කල්තියා සූදානම් වන නළුවෙක්.” මැයෙන් කෙටි සටහනක් එකල මම “ සරසවිය” පුවත්පතට ලීවෙමි.

සම්පත් ශ්‍රී නන්දලෝචනගේ සොහොයුරා ද කලාවට සම්බන්ධව සිටියේය. සිදත් ශ්‍රී නන්දලෝචන තම හෙතෙම ඉංගී‍්‍රසි නාට්‍ය රචකයෙකි. නිෂ්පාදකවරයෙකි. අධි නීතිඥවරයෙකි. 1997 වසරේ සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේදී සිදත්ශ්‍රී සාමාජිකයකු විය.

සම්පත් ශ්‍රී නන්දලෝචන නම් මේ අසාමාන්‍ය ගති පැවතුම් ඇති මිනිසා තුළ දයාව, කරුණාව, ආදරය යන හැඟීම් ඇති අවස්ථා රැසක් ඔහුගේ බිරිඳගෙන් දැන තිබුණි. වසර 67 ක් ආයු වළඳා 1996 පෙබරවාරි 01 වෙනිදා මියගියේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2271971 Kathuru Muwath කතුරු මුවාත් Actor K.A.W. Perera
2 2291971 Abhirahasa අභිරහස Actor Lenin Morais
3 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Actor K.A.W. Perera
4 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Actor K.A.W. Perera
5 2701974 Duleeka දුලීකා Actor K.A.W. Perera
6 2771974 Sihasuna සිහසුන Actor Titus Totawatte
7 2781974 Kalyani Ganga කල්‍යාණි ගංගා Actor Dharma Sri Kaldera
8 3311976 Vaanarayo වානරයෝ Cameo Appearance Sarathchandra Herath
9 3391976 Onna Maame Kella Panapi ඔන්න මාමේ කෙල්ල පැනපි Actor Lenin Morais
10 3721978 Janaka Saha Manju ජනක සහ මංජු Actor K.A.W. Perera
11 4021979 Higana Kolla හිඟන කොල්ලා Actor K.A.W. Perera
12 4141979 Akke Mata Awasara අක්කේ මට අවසර Actor W. Wilfred Silva
13 4261980 Uthumaneni උතුමාණෙනි Actor Gamini Fonseka
14 5831984 Rana Derana රණ දෙරණ Actor Lorance cooray, Dilman Jayaratne