Karunasena Jayalath

Karunasena Jayalath

කරුණාසේන ජයලත්

Born 10 January 1928 Died 25 August 1994

10 January 1928 - 25 August 1994

59.39% · 1,403 votes
Rate this artist

Summary

NameKarunasena Jayalath
Sinhala Nameකරුණාසේන ජයලත්
Born10 January 1928
Died25 August 1994

Biography

දිවිමඟ සටහන්

උපත - 1928 ජනවාරි මස 10 වැනිදා හොරණ කුඹුක දී

උප්පැන්නේ සඳහන් නම - කරුණාසේන ජයලත්

පියාගේ නම - දොන් එළියෙස් ජයලත්

මවගේ නම - කුඹුකගේ අයිසෙ නෝනා

සොහොයුරියන් - පවුලේ එකම දරුවා ය.

ඉගෙනුම ලැබූ පාසල් - 1933 දී කුඹුකේ පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ 1944 දී හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ද්වියිතීක අධ්‍යාපනය ලබන ලදී.

අනතුරුව කොළඹ පෙම්බ්‍රොක් ඇකඩමියට ඇතුළත් වෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමටය.

වෘත්තීය ජීවිතය ආරම්භය - 1947 දී සිංහල ජාතිය පුවත්පත

පුවත්පත් ජීවිතය - හෙළබිම, 1951 දී ලංකාදීපයට බැඳී අනතුරුව උපකර්තෘවරයා වීම, සිරිලක සතිපතා

පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ, 1984 ජනවාරි 22 ආරම්භ වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිල පුවත්පතේ ආරම්භක ප්‍රධාන කර්තෘ

ලැබූ සම්මාන - රාජ්‍ය සාහිත්‍ය සම්මානය, OCIC සම්මානය

ප්‍රථම නවකතාව - 1962 ගොළු හදවත (රාජ්‍ය සම්මානය හිමි වෙයි)

විවාහය - 1956 මැයි 26

බිරිය - රූපා අමරසිංහ

දරුවන් - 3කි. කනිෂ්ක, ධම්මික සහ මොහාන්

මුනුබුරු මිනිපිරියන් - උදාරා, අමිල, පසන්, උදානි, සිළුනි, වෙනුර සහ නිමන්ත

ග්‍රන්ථ - නවකතා සංඛ්‍යාව- 15 කි; විචාර ග්‍රන්ථ 2කි. නංගී, පෙම් හැඟුම්, රූපය නමින් කාව්‍ය කෘති 3කි

අභාවය - 1994 අගෝස්‌තු මස 24

අම්මා මෙන් ම හැම කාන්තාවක් ම පතිවතක් ය. කුසුම් මෙන් ම හැම යුවතියක් ම කන්‍යාවන් ය. සියලු වනිතාවෝ සීතාවෝ ය. ඔවුහු පවිත්‍ර ය; නොකැළැල් ය; නොකිළිටි ය. හතුරු හිතක් නවකතාව පටන් ගන්නේ එසේ ය. ස්ත්‍රිය දෙස එතරම් ආදරයෙන් බැලූ නිර්මාණකරුවෙක් සාහිත ගමන් මඟ හමු නොවෙන තරම් ය. බොහෝ දේ අහිමි වුව ද ජීවිතයෙන් පලා නොයන, දරා ගැනීමේ සීමාව සීමාවක් නොකර ගත් සාමාන්‍ය ජීවිතයේ ගැහැනුන් ගැන නවකතා ලොවෙන් හදවතට දැනවූයේ කරුණාසේන ජයලත් ය. පුවත්පත් කලාවේදියකු, කවියකු, නවකතාකරුවකු මෙන්ම සිනමා විචාරයකු ද වූ කරුණාසේන ජයලත් එක් යුගයෙක ආදරයේ මෙන් ම විරහවේ ද ජීවමාන සාධකයක් විය.

ප්‍රේමය බොළඳ ය. එයට මහාප්‍රාණ එක්කරන්නෝ ප්‍රේමයේ රස නොහඳුනන්නෝ ය. මේ බැව් කියන්නේ මා නොවේ. කරුණාසේන ජයලත් ය. මා ද ඒ කතාවට සාකල්‍යයෙන් ම එකඟ බැව් නොකියා බැරි ය. තමන්ගේ නවකතා බොළඳ යැයි කියා බැහැර කළ විචාරකයන්ට කදිම පිළිතුරක් දෙමින් හේ ගොළු හදවත රසික මුළුව නමින් පළ කරන ලද උපහාර ග්‍රන්ථයකට ලියූ පිළිතුරකින් කොටසක් මෙසේ ය.

‘ගැටවර වියේ ප්‍රේමය ගැන ලියන්නට එපා යැයි මට කියන්න; මම එය පිළිගනිමි. ගැටවර වියේ බොළඳ ප්‍රේමය ගැන ලියන්නට එපා යැයි මට නොකිව මැනව. මට එය පිළිගන්නට බැරිය. ඒ බොළඳකමෙන් තොර ප්‍රේමයක් ගැටවර වියේ නැති බැවිනි.

ප්‍රේමයේ සදාතනික වේදනාව අකුරුවලට හැරවූ කරුණාසේන ජයලත් ඒ වේදනාව අප හදවත්හි බරට ම ශේෂ කර යන්නට ම ගියේ ය. චරිත ජීවමාන කිරීම හැම ලේඛකයකුට ම කළ හැක්කක් නොවේ. හොඳ යහපත් මිනිසුන් සේ ම යම් යම් වැරදි ඇති මිනිසුන් ද අපි දකිමු. ලේඛකයාගේ අභියෝගය වන්නේ ඒ චරිත ඒ ලෙසින් ම වචන මඟින් ජීවමාන කිරීමයි. හොඳ සේම නරක ගතිගුණ ද සෑම මිනිසකුට ම ඇත. කළු සුදු නොව ලොව ඇත්තේ අලු චරිත ය. කරුණාසේන ජයලත් මවන චරිතවලට පණ තිබේ; ඒවා සජීවී ය. සුගත් රහමෙරෙන් ජීවිතයට අරුත් සොයද්දී එකල පැරදුණු ප්‍රේමවන්තයෝ ද ඒ ලෙසට ම හැසිරුණු බැව් අප අසා තිබේ. කොටින් ම කියන්නේ නම් බලෙන් හෝ විරහ වේදනාවක් ඇතිකර ගන්නට තරම් පාඨක සමාජය සලිත කරන්නට; සංවේදී කරන්නට ජයලත් ට හැකි විය. චරිත හුස්ම ගන්නා හඬ පවා ඇසෙනා තරමට කරුණාසේන ජයලත්ගේ භාෂා භාවිතය ප්‍රබල ය; සංවේදී ය; පණ ගැහෙන්නේ ය. විදග්ධ යැයි සම්මත නිර්මාණවලට පමණක් සම්මාන ලැබෙන්නේ යැයි තහවුරු වී තිබූ අවදියක කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත රාජ්‍ය සම්මානය දිනා ගැනීම එකල දෙබරයකට ගල් ගැසුවක් විය. නම කියූ පමණින් පොතේ විදග්ධ බව තීරණය කරන, ලේඛකයාගේ අධ්‍යාපන හා දැන හැඳනුම්කම්වලට මූලිකත්වය දෙන සමාජයෙක ජයලත් නිසියාකාර ව කියැවිය හැකි සවිඥාණික පිරිසක් සම්මාන කමිටුවේ සිටීම එකී සාහිත්‍ය සම්මානයට ගෞරවයක් විය. පාඨක ප්‍රසාදය හා විද්වත් ප්‍රසාදය එක්තැන් වීම තරම් ලේඛකයකුට අන් යමක් වටින්නේ නැත.

ගොළු හදවතින් ඇ‍රැඹි මේ කැරැල්ල මුව දඩයම, ලස්සන ඇස්, බඹා කෙටූ හැටි (1967 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද) ගැහැනු ළමයි, පිරුණු හදක්, 1969 රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවූ යහළු යෙහෙළි, මව සහ දුව, අවැස්ස නෑයෝ, හතුරු හිතක්, 1972 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සම්මානිත රිදී නිම්නය, සතීගේ කතාව, කුල කුමරියෝ, මානවිකාවක, පෙම් පුවතක් වැනි නවකතා පහළොවක් දක්වා දීර්ඝ විය.

ප්‍රේමයේ සෞන්දර්යය මතින් අවංක දේශපාලනයේ මායිම් සලකුණු කළ මෙරට නවකතා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ කරුණාසේන ජයලත් කියැවීම පහසු නැත. ඉසින්නට ඉසින්නට ළිඳේ ගැඹුර තේරෙන්නාක් මෙන් ජයලත්ගේ පොත් කියවන්නට කියවන්නට මහා දයාර්ද්‍ර හැඟීමක් සිතට ඇතුළු වීම වළක්වා ලිය නොහේ. හද විදාරණය කරන්නට හේ තරම් ජගතෙක් අප දැක නැත. චමත්කාරය යන්නට සංස්කෘතයෙන් නොව සිංහලෙන් යම් අර්ථයක් සම්පාදනය කරන්නේ නම් එය ඔහුගේ නිර්මාණ හඳුන්වන්නට යෙදිය හැකි යැයි සිතමි.

1928 ජනවාරි මස 10 වැනිදා හොරණ කුඹුක දී උපත ලබන කරුණාසේන ජයලත් පවුලේ එක ම දරුවා ය. පියා දොන් එළියෙස් ජයලත් නම් වන අතර මව කුඹුකගේ අයිසෙ නෝනා ය. කුඩා කරුණාසේන 1933 දී කුඹුකේ පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ය. අනතුරුව 1944 දී හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ද්වියිතීක අධ්‍යාපනය ලබන ඔහු කොළඹ පෙම්බ්‍රොක් ඇකඩමියට ඇතුළත් වෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ය. ඔහුගේ වෘත්තිය ජීවිතය ඇරඹෙන්නේ 1947 දී සිංහල ජාතිය පුවත්පතෙනි. අනතුරුව සරසවි සඳ‍රැස පත්‍රයට ඔහු යන්නේ සිය ලේඛන කුසලතාව නිසා ය. අනතුරුව ඔහු ලංකාදීප පුවත්පතට ඇතුළත් වීමේ භාග්‍ය හිමිකර ගන්නේ 1951 වසරේදී ය. ලංකාදීපයේ උපකර්තෘ ධූරය දක්වා ඔහු ගමන් කරන්නේ ස්වකීය කැපවීමේ හා ලේඛන ප්‍රතිභාවේ මහිමයෙනි. සිරිලක සතිපතා පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ, 1984 ජනවාරි 22 ආරම්භ වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිල පුවත්පතේ ආරම්භක ප්‍රධාන කර්තෘ ආදී වශයෙන් ඔහුගේ පත්‍ර කලා දිවිය විවිධ ඉසව් දක්වා රූපාන්තරණය වෙන්නේ ය. නවකතා 15 ක්; විචාර ග්‍රන්ථ 2ක් හා නංගී, පෙම් හැඟුම්, රූපය නමින් කාව්‍ය කෘති 3ක් පළ කර ඇති ඔහුගේ නිර්මාණ දිවිය ලේඛනයට පමණක් ලඝු කිරීම යුතු නොවේ. කාන්තා විමුක්ති අරගලය සහ සාහිත්‍ය කලාව හා ජනතාව ලෙසින් ඔහු ලියූ විචාර ග්‍රන්ථ ද්විත්වය මෙරට විචාර කලාවේ නව මඟක් සංකථනය කෙරූවෙකි.

ඔහුට ලංකාවේ සිනමාව සමඟ ද විසල් බැඳීමක් තිබිණි. 1982 දී පළමු වරට ප්‍රදර්ශනය වූ ලාංකික චිත්‍රපට උදෙසා පැවැත්වුණු සරසවි සිනමා සම්මාන උලෙළේ දී හොඳම තිර නාටක රචකයා සේ සම්මාන ලැබුවේ ‘යහළු යෙහෙළි’ තිරනාටකය සැකසූ කරුණාසේන ජයලත් ය. ස්ත්‍රිය පිළිබඳව ජයලත් ට තිබුණේ පුදුමාකාර බැඳීමකි. එය ඔහුගේ සියලු කෘති ඔස්සේ විශද වන්නකි. ඒ අප්‍රමාණ ගෞරවය හා ආදරය සිය මවගෙන් හා බිරියගෙන් ලද සෙනෙහසේ ඡායාවක් විය හැකිය. කිසිදු දෙයක් නිකම් ම උපදින්නේ නැත. කරුණාසේන ජයලත් ලියා ඇති නවකතා අතරෙන් පිරිමියකු කේන්ද්‍ර වෙන්නේ මගේ මතකයේ හැටියට නවකතා දෙකක පමණී. ඒ ලස්සන ඇස් කතාවේ වික්ටර් හා හතුරු හිතක් හි නිමල් ය. අනෙක් නවකතා සියල්ලේ කෙන්ද්‍රීය චරිතය ගැහැනු චරිතයකි. ප්‍රථම පුරුෂ සර්වවේදී පූර්ණ දෘෂ්ටි කෝණයෙන් ලියන බැවින් ගොළු හදවතෙහි දම්මී මෙන් ම සුගත් ද ප්‍රධාන චරිතයකි. ස්ත්‍රිය කෙරෙහි වූ අප්‍රමාණ බැඳීම මේ කතා හැම එකක ම පාහේ මතු ව ඒම විශේෂයකි.

ජයලත් ගීත රචකයෙකි. ඉන්ද්‍රානි-සිසිර සේනාරත්න ගයන ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා’,සුජාතා අත්තනායක ගයන ‘ජීවන විල මැද වැජඹෙන කුසුමකි’ ගීය සහ ඉන්ද්‍රානි සේනාරත්න සිසිර සේනාරත්නගේ ‘ආදරය කරුණා දයා ගුණ සාගරය පරදයි’ ඒ අතරින් ප්‍රධාන ය.

කරුණාසේන ජයලත් මහජන පක්ෂයේ නායකයෙක් විය; 71 කැරැල්ලට සම්බන්ධයෙන් සිරභාරයට ගනු ලැබුවෙක් විය. මතවාදයෙන් සමාජවාදී විය. එහෙත් ඔහුගේ නවකතාවල ප්‍රධාන වන්නේ ‘මාක්ස්වාදී දෘෂ්ටිය’ යැයි එක හෙළා කිව නොහේ. තමන් ඉගෙනගත් ‘මාක්ස්වාදී අදහස්’ නමැති දැනුමේ කරුණාසේන ජයලත් නමැති නිර්මාණශීලී නවකතාකරුවා සිරවෙන අවස්ථා දක්නට හැක්කේ මේ පරස්පර බව නිසා විය හැකිය. එහෙත් එය කිසිසේත්ම ඔහුගේ නවකතාවල ප්‍රධාන දෘෂ්ටිය හෝ අන්තර්ගතය බවට පත් නොවේ. සාමාන්‍ය ජීවිතයේ ගැටවර ගැටවරියන් මුහුණ දෙන අතිශය සුලබ කාරණාවලින් ඔහුගේ කෘති පිරුණේ වුව ද ඒවායේ ආලේපිත රොමාන්තික ගතියට වඩා ඇත්තේ සජීවී ලාලිත්‍ය වීම එහි විශේෂත්වයයි හඟිමි. ශික්ෂණය, උරුමය, පවුල, ගැමිකම මේ සියල්ලම එහි අන්තර්ගත විණි. ජීවිතයේ සමහර අවස්ථාවල අප හුස්ම ගන්නේ නාසයෙන් පමණක් නොවේ. ගතේ සෑම රෝම කූපයකින්මත්, වචනවලිනුත් අපි හුස්ම ගන්නෙමු. ඇසෙන් පමණක් නොව වචනයෙන් ද කඳුළු වැටෙන අවස්ථා අප ජීවිතයේ නැත්තේ නොවේ. අප වැඩියෙන් ම අඬන්නේ වචනවලිනි; වැඩියෙන් ම සිනාසෙන්නේ ද වචනවලිනි. මේ පරම යථාර්ථය ජයලත් හොඳින් දැන සිටියේ ය. ඔහු හදවත සීරුවට පිරිමදිමින් වියෝව ද රසයක් කළේ ය. ඔහු සැනසීම සෙව්වේ තමාගේ ම ඇතුළාන්තයට එබෙමිනි. එහිම ගිලෙමිනි. විප්ලව හෝ ගැටුම් වෙනුවට ඔහු තෝරා ගත්තේ ආත්මභාෂණය ය. වීරයන් වෙනුවට හේ නිර්මාණය කළේ අප අවට සිටින්නන් හෝ සමහර විටෙක අප ම ය. ඔහුගේ වචනවල තිබුණේ හදවතේ රිද්මයයි.

හතුරු හිතක් හි නිමල් මෙන් විචාරක පාර්ශ්වය ඔහු දෙස හතුරු හිතින් බැලුවා යැයි සිතෙන්නේ මේ මානව හිතවාදීත්වය ඔවුන්ට හඳුනා ගන්නට නොහැකි වූ නිසා ය. දේශපාලනය නිසා කරන්නට තිබූ වැඩ ගොඩක් අතපසු කරගත් ජයලත් ට කිසිදා දේශපාලනයෙන් අහිමි වීම් මිස හිමිවීම් තිබුණේ නැත. හේ ඉන් සැලුණේ ද නැත. 47 පටන් රජුන් තනන්නට ඔහු වෙහෙස වූයේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනා මසකින් දෙකකින් තමා බලාපොරොත්තු වූ අරමුණු කරා ගිය ද හේ අවුරුදු පනහක් පුරා අයුක්තියට අසාධාරණයට එරෙහි වී තනියම සටන් කර නිසොල්මනේ අත පිසදා ගත්තේ සැබෑ දේශප්‍රේමියකු ලෙස ය.

ධන බල සම්මාන වෙනුවට ඔහු ට නිරන්තරයෙන් ජන සම්මානය ලැබුණේ ය. ඒ සම්මානය වෙන යම් ඕනෑ ම සම්මානයකට වඩා වටින්නේ ය. පේරාදෙණිය ගුරු කුලයේ දරුණු ප්‍රහාරවලට ලක් වුව ද හේ සමසිතින් ඒ සියල්ල දරා ගත්තේ ය. සිංහල නවකතාවේ භාෂා ශෛලියට ඔහු එකතු කළ ලාලිත්‍යමය ආදරය මිනිස් සිතෙහි සදාතනික ධර්මතාවක් වූ ආදරය වෙනුවෙන් ගොඩනැඟුණක් වීම බොරු පුහු මාන්නවලින් හා මතවාදවලින් ඔළු ගෙඩි පුරවා ගත් විචාරකයන්ට තේරුණේ නැත. මේ සියල්ල නිසා කලකිරීමක් ඔහු සිත ජනිත වන්නට ඇත. එහෙත් ඒ කලකිරීම වෙනුවට ඔහු මුළු මහත් සමාජයට ම ආදරය කිරීමේ පාඩම ප්‍රගුණ කළේ ය.

දශක තුනක් පුරා කරුණාසේන ජයලත් රැස් කරගත් ධනය වූයේ අසීමිත පාඨක ආදරය පමණෙකි. ලේඛකයකුට අන් සැමට වඩා වටින්නේ පාඨක ආදරය බවට සැකයක් නැත. ගෙදර පෙට්ටි පුරවා තිබුණේ පාඨකයන්ගෙන් ලැබුණු ලියුම්වලිනි. අද මෙන් එස්එම්එස් යුගයක් නොවූ එකල පාඨකයන් සිය ආදරය පළ කළේ ලියුම් ලියමිනි. ඒ ලියුම් අකුරු ම පමණක් නොවේ. ඒ අකුරු අතර ජයලත් ට තිබූ ආදරය සැඟවී දියවී තිබිණි. හෘදය සංවේදී ලේඛකයකුට වෙන සම්පතක් අවැසි නැතැයි සිතන්නට තරම් ඒ ලියුම්වල ආදරය තැවරී තිබිණි. ඔහු දිවියෙන් සමුගත් මොහොතේ ඔහුගේ දේහය මොහොතක්වත් තනි නොකිරීමට මේ සහෘදය පාඨක රැස කටයුතු කළේ තෙත්වූ නෙතින් යුතු ව ය.

විරහ වේදනාවෙන් පෙළෙන හදවතක් ඇත්තන්ට අදටත් මුලින් ම මතක් වෙන්නේ සුගත් ය. ඒ තරම් ජයලත් තරුණ ගැටවර හදවත කියැවූයේ ය. කඩු කිනිසි ගෙන හොඳින් නැත්නම් නරකෙන් ආදරය දිනා ගන්නට හදන පරම්පරාවකට ආදරයේ කැපවීම, පරිත්‍යාගය කියා දුන් ඔහු වැන්නකු කිසි දිනෙක සහෘදය පාඨකයාට අමතක වෙන්නේ නැත. කිසිදාක දැක නැති මනස් වීරයන් වෙනුවට හොරණ අවට දුක් විඳින ජනතාව, ජීවිතයට අනන්ත අප්‍රමාණ දුක් කම්කටොලු එකතු වුණු ජනතාව සම්මුඛ කරන මේ නිර්මාණකරුවා මේ පොළවේ ගැහැනුන්ගේ මිනිසුන්ගේ හා තරුණ තරුණියන්ගේ හදවත ගැහෙන රිද්මය ලිවීම ම ඔහුගේ අමරණීයත්වයට හේතු වන බව ලියා තබමි.

සුමුදු චතුරාණී ජයවර්ධන

Awards

National Awards

1 Best Script Writer Yahalu Yeheli - 1982 11th Sarasaviya Awards - 1983 - 1983

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 1871969 Senehasa සෙනෙහස Dialogs Herbert M. Senewirathna

Script

#Film NoYearFilm RoleDirector
1 1871969 Senehasa සෙනෙහස Script Herbert M. Senewirathna
2 5291982 Yahalu Yeheli යහළු යෙහෙළි Script Sumithra Peiris

Story

#Film NoYearFilm RoleDirector
1 1871969 Senehasa සෙනෙහස Story Herbert M. Senewirathna
Film NoYearFilmSongRole
187 1969 Senehasa සෙනෙහස Sinhala Maathu Paadan Namaamiමාතු පාදං නමාමි Lyrics