Rajakeeya Wickramaya

Rajakeeya Wickramaya

රාජකීය වික්‍රමය

Black & White 16mm

Film No: 1  ·  Released: 30 Nov 1924

58.42% · 1,226 votes
Rate this film
Special Message

ලංකාවේ ප්‍රථම නිහඬ සිංහල චිත්‍රපටය යි

Summary

NameRajakeeya Wickramaya / රාජකීය වික්‍රමය
Film No1
Released Date30 Nov 1924
ColorimeterBlack & White
Video Format16mm
Movie GroupSilent
CategoryDrama
Main Actor: N.M. Perera Main Actress: Sibilpim (Netherlands) Director: Gupta (Bengali) Producer: T.A.G. Noorbaih

Description

විදේශීය දර්ශණ විකාශයෙන් අනතුරුව මුල්ම වතාවට සිංහල චිත්‍රපටයක් ලෙසින් නිපදවනු ලබන්නේ " රාජකීය වික්‍රමය " නම් ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය යි . මෙය 1923 දී පටිගත කරන ලද බව සඳහන් වේ . මෙම චිත්‍රපටය කොළඹ බම්බලපිටියේ හිස්ව තිබූ බංගලාවකදී පටිගත කල බව ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්ෂික සගරාවේ (1963) පලවූ ලිපියක සඳහන් වේ . මෙම චිත්‍රපටය කැමරාගත කිරීම කොළඹ දී හා කෝට්ටේ නාවල දියවන්නා ඔය ඉවුරේදී ද සිදුකර තිබේ . ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය ලෙස ඉතිහාස ගතවන " රාජකීය වික්‍රමය " නම් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ ටී . ඒ . එෆ් නූර්බායි ය . ඔහු පිටරට චිත්‍රපට මෙරටට ගෙන්වා මෙරට සිනමා ශාලාවල පෙන්වූ ව්‍යාපාරිකයෙකි . නිහඬ චිත්‍රපට ප්‍රදර්ශණය කල මුල් අවධිය තුල චිත්‍රපට නැරඹීමට පැමිණියේ ඉතා සුළු පිරිසකි . මෙම නිසා ප්‍රේක්ෂකයන් සිනමාහල් වලට ගෙන්වා ගැනීමට සිනමාශාලා හිමියන් විසින් විවිධ උපක්‍රම අනුගමනය කරන ලදී . මෙම කාල සීමවේ කල්කටාවේ ධර්මරාජික විහාරයට සර්වඥධාතූන් වහන්සේලා පූජා කිරීමේ උත්සවයක් සඳහා අනගාරික ධර්මපාල තුමා ඇතුළු සිංහල බෞද්ධ ප්‍රභූවරුන් කිහිප දෙනෙකු සහභාගී වීමේ උළෙලක් ඇතුලත් වූ චිත්‍රපටයක් වැල්ලවත්තේ පැලස් සිනමා ශාලාව තුල ප්‍රදර්ශණයකර තිබේ . එහි දී එම චිත්‍රපටය නැරඹීමට විශාල දේශීය ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණ ඇත . එමගින් නූර්බායි වටහා ගන්නා ලද්දේ දේශීය ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ගෙන්වා ගැනීමට නම් ලාංකිකයන් ඇතුලත් චිත්‍රපට නිපදවීම කලයුතු බවයි . මෙහි ප්‍රතිඵලය වශයෙන් සිංහල චිත්‍රපටයක් නිපදවීමට නූර්බායි තීරණය කරන ලදී .

මේ කාල වකවානුව සලකා බැලීමේ දී ඉන්දීය සිනමාව කර්මාන්තයක් වශයෙන් එම සමය තුල යම්කිසි තත්වයක පැවතිනි . එම නිසා නූර්බායි විසින් චිත්‍රපට තැනීම සඳහා ඉන්දීය ශිල්පීන්ගේ සහය ලබාගන්නා ලදී . ඒ යටතේ " රාජකීය වික්‍රමය " චිත්‍රපටය නිපදවීමට ඉන්දීය සිනමා අධ්‍යක්ෂක වරයෙකු වූ ගුප්ත නැමැත්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් යොදාගන්නා ලදී . එමෙන්ම චිත්‍රපටයට අවශ්‍ය කැමරා උපකරණ ද ඉන්දියාවෙන්ම ගෙන්වන ලදී . කැමරා ශිල්පියා වශයෙන් කටයුතු කරන ලද්දේ ගුප්ත නම් වූ ඉන්දියාවෙන් ගෙන් වූ කැමරා ශිල්පියෙකි . මෙලෙස ශිල්පීන් හා අවශ්‍ය උපකරණ ඉන්දියාවෙන් ගෙන්වීමට සිදුවූයේ එම කාල සීමාව වන විට මෙරට තුල ශිල්පීන් හා තාක්ෂණික උපකරණ විරල වීම නිසාය . " රාජකීය වික්‍රමය " චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වශයෙන් ඇන් .ඇම් පෙරේරා මහතා රඟපාන ලද අතර ප්‍රධාන නිළි චරිතය රඟපාන ලද්දේ සිබිල්පිම් නැමැති ලන්සි තරුණියකි . මෙම ප්‍රථම නිහඬ චිත්‍රපටයේ රඟපාන ලද සෙසු නළු නිළියන් වූයේ ග්‍රේෂන් පෙරේරා , එරික් වීරසේකර , ඇන් . ජී . ඩී ඇල්බට් සිල්වා , රෙජිනෝල්ඩ් පෙරේරා , පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් යන ශිල්පීන්‍ ය .

මෙම කාලයේ පැවති විශේෂත්වයක් වන්නේ නාට්‍ය හා නූර්ති හි රඟ දැක්වීම කාන්තාවන් විසින් සිදු නොකිරීමයි . එම සමය තුල පිරිමි පුද්ගලයන් විසින් කාන්තා චරිත රඟ දක්වන ලදී . මෙවන් සමාජ පසුබිමක් පැවති මෙම කාල වකවානුව තුල චිත්‍රපටයේ කාන්තා චරිතය රඟපෑම සඳහා සිබිල්පිම් යොදා ගැනීම ලාංකීය සිනමා කලාවේ විශේෂ සන්ධිෂ්ඨානයක් ලෙස හදුනාගත හැකිය . මෙම සිදුවීම නිසා එතෙක් පැවති සමාජ පටලය කඩා බිඳ දමමින් ප්‍රථම කතා නාද චිත්‍රපටයේ කාන්තා චරිතය රඟ දැක්වීමට ලාංකීය රංගන ශිල්පිනියක් වශයෙන් රුක්මනී දේවි යොදා ගැනීම එහි ප්‍රභල ප්‍රතිඵලයකි . " රාජකීය වික්‍රමය " චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක වරයා ලෙස ප්‍රසිද්ධ සිතුවම් ශිල්පියෙකු වූ සාර්ලිස් මාස්ටර් කටයුතු කර ඇති අතර සහය කලා අධ්‍යක්ෂක ලෙස ජී . ඇස් ප්‍රනාන්දු කටයුතු කර තිබේ . කෙසේ වුවත් ප්‍රථම නිහඬ සිංහල චිත්‍රපටය ලංකාවේ ජනතාවට නැරඹීමට නොහැකි විය . සිංහල සිනමා ඉතිහාසය තුල අවාසනාවන්තම සිදුවීමක් ලෙසට මෙය හදුන්වා දීමට හැකිය . ප්‍රථම සිංහල චිත්‍රපටය විදේශිකයන්ට පමණක් නැරඹීමට හැකිවිය . 1925 දී මෙම චිත්‍රපටය බොම්බාය , සිංගප්පූරුව වැනි ප්‍රදේශවල ප්‍රදර්ශණය කල නමුදු බොම්බායේ දී චිත්‍රපටයේ සෙලෝලයිට් පටය ගිනිගෙන විනාශ විය . මෙය කුමන්ත්‍රණයකින් විනාශ කල බවද බොහෝ අය විශ්වාස කරනු ලබයි . කෙසේ වෙතත් මෙය ලාංකීය ජනතාවට දැක බලා ගැනීමට නොහැකි වීම ලංකාවේ සිනමා ඉතිහාසය තුල සිදුවූ අවාසනාවන්තම සිදුවීමකි.

මහේෂ් චාමර

Cast

Crew