Apata Sadunu Ape Lokaya

Apata Sadunu Ape Lokaya

අපට සැදුණ අපේ ලෝකය

Colour

Film No: 1335  ·  Released: 14 Feb 2021

54.21% · 2,207 votes
Rate this film

Summary

NameApata Sadunu Ape Lokaya / අපට සැදුණ අපේ ලෝකය
Film No1335
Released Date14 Feb 2021
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids
Main Actor: Menaka Rajapakse Main Actress: Nehara Peiris Director: Lal Priyadeva Producer: Sunil T. Fernando

Trailer

Description

මේ වන විට අපට සැදුණු අපේ ලෝකය සිනමාපටය සඳහා ප්‍රතිචාර ලැබෙන්නේ මොන අන්දමින්ද?

ඇත්තටම ගල් වගේම මලුත් එනවා. මොන අන්දමේ ප්‍රතිචාරයකින් වුණත් කියන්නේ චිත්‍රපටය බලනවා කියන එකනේ. ඇත්තටම මට දැනෙනවා මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපට සැදුණ අපේ ලෝකයේ සිනමාපටය සෑහෙන ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹනවා කියලා.

මේ චිත්‍රපටය විදෙස් චිත්‍රපටයක කොපියක් කියලා බොහෝ දෙනා විවේචන දක්වනවා? ඒ වගේම ඒ චිත්‍රපටයකින් කොටස් අරගෙන කියලත් ඔවුන් කියනවා.

කොපි කරලා සහ කොටස් අරගෙන තියෙනවා තමයි. ඒක නැහැ කියන්නේ නැහැ. මීට කලින් කොපි කරපු ඕනෑ තරම් චිත්‍රපටි ලංකාවේ හැදිලා තිබුණානෙ. මේක මේ කොපි කරපු පළවෙනි චිත්‍රපටය නෙමෙයිනේ. එහෙම නම් ඔය විවේචන ආවට කමක් නෑ. මං දැක්කා සමහරු ඒ වගේ තමයි ඒ අදහස් දක්වලා තියෙන්නේ. මේ චිත්‍රපටය හදන්නේ ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය නොවෙන කාලෙක. කොරෝනා වසංගතය නිසා අපි ගෙවල්වලට වෙලා හිටියානෙ. ඔන්න ඔය කාලෙ තමයි අපට සැදුණ අපේ ලෝකය චිත්‍රපටය නිර්මාණය කරන්න අපි පටන් ගත්තේ. මේ චිත්‍රපටයට අනිත් චිත්‍රපට වගේම මහන්සි වුණා, නිකන් නිර්මාණය වුණේ නැහැ.

අපට සැදුණ අපේ ලෝකය කියලා කියද්දී එක්තරා ගීතයකුත් මතක් වෙනවා. එකෙන් වචන පේළි අරගෙනද මේ නම දැම්මේ?

නැහැ නැහැ. මේ තියෙන්නේ අපට සැදුණ අපේ ලෝකය, කියන අදහස තමයි මෙතෙන්දි ගත්තේ. අනික සිංහල භාෂාවේ තියෙන වචනවලට කිසිම කෙනෙකුට අයිතියක් කියන්න බැහැ. එහෙම සිංහල වචන ටිකක් අරගෙන තමයි මේ චිත්‍රපටයට ගැළපෙන නමක් තිබ්බේ.

ඔබ හා සුනිල් ටී. ප්‍රනාන්දු එක්ව නිර්මාණය කරන පළමු සිනමා පටය නේද මේ?

ඔව් ඔව්.

බොහෝ දෙනා කියනවා සුනිල් ටී. ප්‍රනාන්දුත් එක්ක වැඩ කරන්න හරිම අමාරුයි කියලා?

කිසිම අමාරුවක් නෑ. හරි ෂෝක් නිෂ්පාදකවරයෙක්. වියදම් වන මුදල හරියට ඒ ආකාරයෙන්ම පියෙව්වා. කිසිම අපහසුවක් වුණේ නෑ ඔහුත් එක්ක මේ නිර්මාණය කරගෙන යන්න. සාමාන්‍යයෙන් ඕනෙම නිෂ්පාදකවරයෙක් අපි කියන මුදලට වැඩිය යම්කිසි ප්‍රමාණයක් අඩු කරලා, මේ ගාණට වගේ කරල දෙන්න පුළුවන්ද, මේ දේ මේ ගානට කරගන්න පුළුවන් නේද කියලා අහනවා. ඒක නිෂ්පාදකවරයෙකුගේ පොදු ලක්ෂණයක්. ඔවුන් බලන්නේ දෙයක් අපි කියන මුදලට වැඩිය යම්කිසි ප්‍රමාණයක් අඩුවෙන් වැය කරන්න. සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයත් යම් යම් අවස්ථාවලදී එහෙම කිව්වා. එහෙම කියෙන්නේ ඔහු නිෂ්පාදකවරයෙකු නිසා. සුනිල් මහත්තයා කියන්න තියෙන දේවල් කෙලින්ම මුහුණට කියනවා. හොඳක් වුණත් එහෙමයි. නරකක් වුණත් එහෙමයි. ඒවා අහගන්න බැරි පුද්ගලයෝ තමයි සුනිල් ටී. ප්‍රනාන්දු එක්ක වැඩ කරන්න අමාරුයි කියලා කියන්නේ.

සිංහල සිනමාපට නරඹන්න ප්‍රේක්ෂකයෝ නාවට දෙමළ චිත්‍රපටයක් තිරගත වුණාම සෑහෙන්න ප්‍රේක්ෂකයෝ පිරිසක් සිනමාශාලාවන්ට ආවා?

එහෙම කියන්න බෑනෙ. දවස් තුනයි හරියට බැලුවොත් ඔය දෙමළ චිත්‍රපටි බලන්න සෙනඟ ඉන්නෙ. මම ඔය මාස්ටර් තිරගත වෙද්දී තුන්වෙනි දවසේ රූබි එකට ගියාම එක මනුස්සයි හිටියේ. අනික දෙමළ චිත්‍රපටි වලට ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් අප සිනමාපට සංසන්දනය කිරීම බොරු වැඩක්. ඒගොල්ලො කෝටි ගණන් වියදම් කළ චිත්‍රපට කරන්නෙ. අපි එහෙම නෙමෙයිනේ.

ලාල් ප්‍රියදේව කියලා කියන්නේ එක්තරා රාමුවක කොටු වූ අධ්‍යක්ෂවරයෙක් කියලා ඇතැමුන් කියනවා?

මම මේ තාක් කල් චිත්‍රපට නිර්මාණය කළේ නිෂ්පාදකවරුන් එකඟ වූ කරුණු කාරණා මත. බොහෝ වෙලාවට නිෂ්පාදකවරු කියනවා මෙන්න මේ වගේ චිත්‍රපටයක් කරමු කියලා. ඒ අවස්ථාවන්වලදී මම ඒ චිත්‍රපටය ඔවුනට කරලා දුන්නා. නැතුව මට ඕන සිනමාපට නෙමෙයි මෙච්චර කල් නිර්මාණය කළේ.

ඔබට අවශ්‍ය චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පෙළඹුණේ නැත්තේ ඇයි?

එහෙම චිත්‍රපටයක් කරන්න වසර අටක් තිස්සේ මම ප්ලෑන් කරනවා. නමුත් ඒ චිත්‍රපටය මට තාම කරගන්න හම්බුණේ නැහැ.

මේ වෙලාවේ ඔබේ පියා ගැන සඳහනක් නොකළොත් අඩුවක් වේවි?

මගෙ තාත්තා ඉපළවත්ත පියසේන. අයි. පී. සේන කියලා ඔහු නම හදාගත්තෙ ඔය චිත්‍රපට ක්ෂේත්‍රය වෙනුවෙන්. ඔහු චිත්‍රපට අධ්‍යක්වරයෙක්. තාත්තා චිත්‍රපට හදද්දි මම දෙකේ පංතියෙ. තාත්තාගේ බයිස්කෝප් කෙරුවාව නිසා මගෙ හිතත් ඒ පැත්තට ඇදුණා. තාත්තා කඩේ යන්න දෙන සල්ලි වලින් චිත්‍රපට බලන්න ගියා. එහෙම ගිහින් තාත්තාට අහුවුණාම මට තඩිබාලා ටිකට් එක ඉරනවා. ඔය වෙලාවේ මම හිතින් හිතනවා මමත් කවදාහරි චිත්‍රපට ක්ෂේත්‍රයට එනවා කියලා.

ඔබේ අයියා චංකි ඉපළවත්ත, ඔහු නළුවෙක්. අයියා වගේ නළුවෙක් වෙන්න හිතුණෙ නැත්තෙ ඇයි?

හිතුණා. එහෙම හිතලා චිත්‍රපටවලට ගියා. ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපටයේ රඟපාද්දි තමයි මම මගේ තරම දැනගත්තෙ. එක පැත්තකින් විජය කුමාරතුංග. අනෙක් පැත්තෙන් සනත් ගුණතිලක. ඒ දෙන්නා මැද්දේ ඉන්නකොට තමයි මම කවුද කියලා හිතුණේ. මොකද මට ඕන වුණේ ඒ වගේ නළුවෙක් වෙන්න. ඔය චිත්‍රපටයෙන් පස්සෙ මම හිතුවා ගාව ඒ හැකියාව නැහැ කියලා.

ඔබ අලුත්, ප්‍රවීණ කියා භේදයකින් තොරව චිත්‍රපට සඳහා නළු නිළියන් යොදා ගන්නවා?

ඇත්තටම ඒක මම දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආපු වැඩක්. චරිතයකට ගැළපෙන්නෙ නවකයෙකුද මම ඒ සඳහා ඔහු හෝ ඇය යොදාගන්න දෙවතාවක් හිතන්නේ නෑ. ඒ වගේම මම චිත්‍රපටයක් කරනවා කියලා ආරංචි වෙච්ච වහාම මට බොහෝ පිරිසක් කතා කරලා කියනවා, අනේ මගේ හිතවත් කෙනෙක් ඉන්නවා, එයාවත් ගන්න කියලා. ඉතින් ඔවුන්ට අවස්ථා දෙන්නත් ඕනෙනේ. ඒ හින්ද තමයි මගේ චිත්‍රපටවලට බොහෝ වෙලාවට අලුත් පිරිස වැඩි වෙන්නේ.

Cast

Crew