"ජැක්සන් මනමේ අරඹයි" 2013-05-25
අබා චිත්‍රපටය නිර්මාණය කරමින් සිංහල සිනමා වංශ කතාවේ අලුත් ආරක් ගොඩ නැඟූ ජැක්සන් ඇන්තනී සිය දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා චාම් උත්සවයකින් ආරම්භ කෙරිණ. මෙවර ඔහු තම සිනමා කෘතියට පාදක කොටගෙන ඇත්තේ මනමේ පුරාවෘත්තයයි.
ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය සමග ජැක්සන් ගිවිසුම් අත්සන් කළ මොහොත. නිෂ්පාදක සදේශ් කුමාර් ද පසෙකින් වෙයි.
එය ජාතක කතා සංග්‍රහයේ චුල්ල ධනුද්ධර ජාතකය ඇසුරෙන් නිර්මාණය වූවක් වන අතර මහාචාර්ය සරච්චන්ද්‍ර මනමෙ නාට්‍ය තැනුවේද මේ ආශ්‍රයෙනි.
චුල්ල ධනුද්ධර ජාතක කතාවෙහි මනමේ කෝලමේ එන මනමේ කුමරිය ඉතාම නුගුණ ගති ඇත්තියක් වන අතර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයෙන් ඇයගේ ගතිගුණ වෙනස් කළේය. ජැක්සන් සෞන්දර්යාත්මකව සිනමා කෘතියක් ලෙස පරිවර්ථනය කරනුයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් සුබවාදී ස්ත්‍රී දර්ශනය හරහා දුටු චුල්ල ධනුද්ධර පුවතයි.
මුහුරත් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය කියා සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දරුවකුට භාර දෙන්නා වූ සේම මේ කටයුත්තට ගෞරවාන්විත බලාපොරොත්තුවෙන් යුතුව ජැක්සන්ට ආශිර්වාද කරන බවයි.
මනමේ සිනමා කෘතිය රියල් ඉමේජ් ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් නිෂ්පාදනය කරයි. ඔවුන්ගේ පළමු නිෂ්පාදනය වූ සුපර් සික්ස් කුස පබාගෙන් පසුව තිරගත වනු ඇත.
හෙලංකා ආයතනනයේ පැවැත් වූ මෙම චාම් උත්සවය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් ඇතුළු හිමිවරුන්ගේ පිරිත් සජ්ජායනය මැද ඇරැඹි අතර, චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, නිෂ්පාදිකා රේණුකා බාලසූරිය, සහය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත, නිෂ්පාදන කළමනාකරු අශෝක ආරියරත්න, ස්වර්ණ සංඛ පදනමේ සභාපති සුනිල් ෆොන්සේකා, ජයන්ත ජයලත් ඇතුළු කිහිප දෙනෙකු සහභාගි වූහ.මනමේ සිනමා කෘතියෙහි නළු නිළියන් මේ වන විට තෝරමින් සිටින අතර මේ වසරේ අග වන විට එහි රූගත කිරීම් නිම කරනු ඇත.
sarasaviya
 |